×

පසුගිය වසර තුල ආදී ශිෂ්‍ය සංගමයේ මෙහෙවර

/ / News & Events

2019 ජුනි මස 29 වන සෙනසුරාදා පෙ. ව. 8.30 ට ශ්‍රී සුමංගල විද්‍යාලයීය සෝමතිලක විතාරණ ශාලාවේදී පවත්වන ලද 97 වෙනි සංවත්සර මහ සභාවට අනතුරුව 2019/2020 වර්ෂයේ ආදී ශිෂ්‍ය සංගම් මෙහෙවර 2019 ජූලි මස 22 වන දින පැවති පළමුවන විධායක සභා රැස්වීමෙන් ආරම්භ කරන ලදී. අනපේක්ෂිත ලෙස මුළු ලෝකයම මුහුණ දුන් Covid-19 වසංගතය හමුවේ වුවද පාසලට ආදරය කරන ආදී ශිෂ්‍යයන් බොහෝමයකගේ සහ පාසලට සුභ පැතූ පරිත්‍යාගශීලීන්ගේ අඛණ්ඩ සහයෝගයෙන් පසුගිය වසර සාර්ථක වසරක් කර ගැනීමට අපට හැකි විය.

2019/2020 විධායක සභාව මහේෂ් ෆොන්සේකා මහතාගේ ගරු සභාපතීත්වයෙන් වර්ණවත් වූ අතර, වර්ෂය තුල කටයුතු වඩාත් විධිමත්ව සංවිධානගත කරමින් එක් එක් ව්‍යාපෘති කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා අනු කමිටු පිහිටුවන ලද අතර, ඒවායේ සභාපතිවරුන් වෙත තම කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය නිදහස් වටපිටාවක් සකස් කර දෙන ලදී. පසුගිය වසර තුල සංගමයේ මෙහෙවර මෙසේ සාරාංශ ගත කර දක්වමු.

අන්තර්ජාලය අධ්‍යාපනය සඳහා යොදා ගැනීම සහ භාවිතය

මෙම වසරේ අනපේක්ෂිත ලෙස රටම මුහුණ දුන් Covid-19 වසංගතය හමුවේ 2020 මාර්තු 13 වන දින රටේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරන ලදී. එහිදී අප පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටීමට ඉඩ නොදී ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට විය. ඒ අනුව එහි මුල් පියවර ලෙස අප සංගමය විසින් විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් එල්. ජී. පී. බී. ලියන්ගස්කුඹුර මහතා ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලය සමඟ එක්ව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු WhatsApp සමූහ උපයෝගී කරගනිමින් සිදු කිරීම ආරම්භ කරන ලදී.

ඒ අනුව පසුගිය වාරය තුල පැවැත්විමට නොහැකි වූ වාර විභාග ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලය මාර්ගයෙන් සිසුන්ට ලබාදි “ස්වයං අධ්‍යයන” කටයුත්තක් ලෙස ඉදිරියට ගෙනයනු ලැබිණි. ඒ අනුව www.SriSumangalaCollege.lk හා www.SumangalaOBA.com යන වෙබ් අඩවි මගින් කාල සටහන් අනුව ප්‍රශ්න පත්‍ර ලබා දීමට කටයුතු කල අතර එම ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු WhatsApp සමූහ හරහා ලබා දෙන ලදී.

පාසල් අධ්‍යාපනය අඩපණ වී තිබූ මොහොතක අධ්‍යාපන කටයුතු අඛන්ඩව පවත්වා ගැනීම අභියෝගයක් වීය. එය කෙරෙහි අවධානය යොමුකළ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සමග එක්ව ළමයා “ස්වයං අධ්‍යයන” කටයුතු කෙරෙහී නැඹුරු කරවිම පිනිස Microsoft Teams භාවිතා කර Virtual Class Rooms මගින් ඉගැන්වීම් සාර්ථකව ආරම්භ කරන ලදී. මෙහිදී ආදී ශිෂ්‍ය සංගමය හරහා Microsft Education මෘදුකාංග පද්ධතිය අප පාසලට නොමිලේ ලබාදුන් අතර ඒ තුලින් පාසලේ ගුරුවන්ට සහ සිසුන්ට නොමිලේ පාසල තුල සිටින තුරාවට පාසල නමින් ඊමේල් ලිපිනයක්, Microsoft Office Online මෘදුකාංග සහ අන්තර්ජාලය තුලින් පාසලේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සියලු මෘදුකාංග මෙවලම් ලබාදෙන ලදී.

මෙම මෘදුකාංගය පද්ධතියේ මුල්‍යමය වටිනාකම එක් සිසුවෙක් සඳහා මසකට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් පහ ($5) ක් වන අතර, වසරකට එක් සිසුවෙක් සඳහා දළ වශයෙන් රුපියල් 11,660/- ක් වන අතර පාසලේ 4000ක් පමණ වන සියලුම සිසුන් සහ ගුරුවරුන් සඳහා වසරකට දළ වශයෙන් රුපියල් 44,640,000/- ක් පමණ වේ. පාසලේ සියලුම සිසුන් සහ ගුරුවරුන් පාසලේ සිටිනා තුරාවට මෙම මෘදුකාංගය පද්ධතිය භාවිත කල හැක.

මේ සා වටිනා බලපත්‍ර සහිත (License) මෘදුකාංගය පද්ධතියක් නොමිලේ ලබාගැනීම සඳහා ආදී ශිෂ්‍ය සංගමයට මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කර දුන් අප ආදී ශිෂ්‍ය, පාසලේ හිටපු උප ප්‍රධාන ශිෂ්‍යනායක, කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන නිරෝධ ගුණවර්ධන මහතාට විශේෂ  ගෞරවය සහ ස්තුතිය පුදකර සිටිමු. එසේම මෙය ක්‍රියාත්මක කිරීමේදී පාසලෙන් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ගෙන් ලැබුණු සහායද අගය කල යුතුය. ඒ අතුරින් නියෝජ්‍ය විදුහල්පතිනි රේණුකා ද සිල්වා, සහකාර විදුහල්පති නාලක ද සිල්වා, ගයන් ශ්‍රීනාත්, නිශාන්ති කනගරත්න යන ගුරු මහත්ම මහත්මීන් දැක්වූ සහාය මෙහිලා විශේෂයෙන් අගය කර සිටිමු.

ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති මහේෂ් ෆොන්සේකා මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ආදී ශිෂ්‍ය සංගමයේ ICT and Digital අනුකමිටුවේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සංගමයේ උප සභාපතිවරුන් වන සම්පත් පෙරේරා, චාමර පීරිස් සහ චමත් ඩයස් මහත්වරුන් දැක්වූ දායකත්වය ඉතා ප්‍රශංසනීය වේ. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදීමේදී මාධ්‍ය අනුග්‍රහය දැක්වූ දෙරණ සහ සිරස මාධ්‍ය ජාලයන් වෙතද අපගේ ස්තුතිය පුද කර සිටින අතර, එම ආයතනයන් හි සේවය කරන පිළිවෙලින් තුෂාර වරුණ සහ නුවන් චතුරංග යන මහත්වරුන්ට අපගේ විශේෂ ස්තුතිය පිරිනමමු. තවද ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහාය වූ සියලු දෙනාටම ස්තුතිය පුද කර සිටින්නෙමු.

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

මෙවරද පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ඇති උත්කර්ෂවත් අන්දමින් 2020 ජනවාරි 31 වන දින පැවති අතර, විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍ය මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති, අධ්‍යාපන අමාත්‍යංශයේ වර්තමාන ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යය කපිල පෙරේරා මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර, විශේෂ ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා සහභාගී විය.

උත්සවයේ සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ හතක් පමණ වූ අතර, ඉන් 71% ක දායකත්වය එනම් රුපියල් ලක්ෂ 497,000/- පමණ මුදලක දායකත්වය අප සංගමය විසින් දරණ ලදී. කීර්තිමත් ආදී ශිෂ්‍ය වෛද්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය මංගල දිසානායක මහතා සහ වෛද්‍ය වසන්ත ද සිල්වා මහතාගේ මුදල් පරිත්‍යාග මෙහිදී කෘතවේදීව සිහිපත් කරන අතර, විධායක කමිටු සභික විරාජ් සිල්වා මහතා ඇතුළු ආදී සිසුන් විශාල පිරිසක් මේ සඳහා මුදල් පරිත්‍යාග කරන ලදී. උත්සවයේ සැරසිලි සඳහා මෙවරද මංජුල ධර්මසේන මහතා ලබාදුන් දායකත්වයේ මුල්‍ය වටිනාකම රුපියල් 35,000/- ක් පමණ වේ. මෙම උත්සවයේ ආදී ශිෂ්‍ය සංගමයේ සම්බන්ධිකරණ හා සංවිධාන කටයුතු භාරව කටයුතු කල ගරු උප සභාපති පද්මාල් ගුණරත්න මහතාට හා අනුකමිටු කාරක සභික මහතුන්ට ස්තුතිය පුද කරන අතර, විද්‍යාලයේ විදුහල්පතිතුමන්ටත්, ඇපකැප වී කටයුතු සිදුකල ගුරුභවතුන්ටත් ආදී ශිෂ්‍ය සංගමයේ ස්තුතිය පුද කර සිටිමු.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල

මෙවර ද්විතික අංශයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 07 වන දින විද්‍යාලයේදී අභිමානවත් ලෙස පවත්වන ලදී. ක්‍රීඩා තරඟ සඳහා අවශ්‍ය සියලු පදක්කම් සහ සහතික පත්‍ර අප සංගමය විසින් ලබාදෙන ලදී. තවද සියලු තරඟ විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන්ගේ සහාය අප විසින් ලබා දුන් අතර, ඒ සඳහා ආදී කැඩෙට් නිලධාරීන්ගේ සංගමය අප හා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත්තේය. එහිදී අප සංගමයේ සාමාජික රොෂාන් සේනාරත්න මහතා විශේෂ කාර්යභාරයක් ඉටුකරන ලදී. ඒ මහතාට සහාය වූ අප විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍ය කර්නල් අනුර සිරිමාන්න මහතාටත් ආදී කැඩෙට් නිලධාරීන්ගේ සංගමයේ ගරු සභාපති ලුතිනන් කර්නල් සුමිත් ධනංජය ප්‍රනාන්දු මහතාටත් විශේෂ ස්තුතිය පුදකර සිටිමු. මෙම හමුදා නිලධාරීන් තරඟ විනිශ්චයට යොදවා ගැනීමෙන් ගියවසරේ ඒ සඳහා වැයවූ රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක පමණ මුදලක් (Rs 125,000/-) ඉතිරිකර ගැනීමට අප සංගමයට හැකි විය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේදී ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරුන් වන අසන්ත තෑලිස්, කුමාරසිරි බොදරගමගේ, කසුන් හේවගේ සහ විධායක කමිටු සාමාජිකයන් වන කපිල සිල්වා, ධනුෂ්ක සංජය, සංජය අමරසේකර, නිලූක ඉරෝෂාන්, සමන් සුදර්ශන යන මහත්වරුන්ද විශේෂ දායකත්වයක් සපයන ලදී.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල (ප්‍රාථමික අංශය)

ප්‍රාථමික අංශයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වූයේ “ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු” යන තේමාව පෙරටු කරගෙනය. එය 2020 පෙබරවාරි 20 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ඇති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. ඒ සඳහා සම්පුර්ණ අනුග්‍රහය අප සංගමය විසින් දරන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරුන් වන අසන්ත තෑලිස්, චමත් ඩයස්, කුමාරසිරි බෝදරගමගේ, කසුන් හේවගේ සහ විධායක කමිටු සාමාජිකයින් වන කපිල පෙරේරා, ධනුෂ්ක සංජය, සංජය අමරසේකර, නිලූක ඉරෝෂාන් යන මහත්වරුන්ද විශේෂ දායකත්වයක් සපයන ලදි. තවද, එදින ප්‍රථමික අංශයේ සියලුම ළමුන් සඳහා මැලිබන් ආයතනය මගින් බිස්කට් ලබාදීමට කටයුතු කල ආදී ශිෂ්‍ය සුරේෂ් වික්‍රමරත්න මහතාටද අපගේ විශේෂ ස්තුතිය පිරිනමා සිටිමු.

බස්නාහිර පළාත් චෙස් තරඟාවලිය

අප පාසලේ දරුවන්ගේ චෙස් ක්‍රීඩා කෞශල්‍ය නංවනු වස් අප සංගමය විසින් ප්‍රථම වරට බස්නාහිර පළාත් අන්තර් පාඨශාලයීය චෙස් තරඟාවලියක් 2019 දෙසැම්බර් මස පවත්වන ලදී. මෙම තරඟාවලිය සඳහා බස්නාහිර පළාතේ ප්‍රධාන පාසල් ගණනාවක්ම සහභාගී විය. මෙම තරඟාවලිය සංවිධානය කිරීමේදී ගරු උප සභාපති කුමාරසිරි බෝදරගමගේ, ගරු උප සභාපති චමත් ඩයස්, ගරු උප සභාපති අසංග තෑලිස්, කපිල කුමාර, නිලූක ප්‍රනාන්දු, ධනුෂ්ක සංජය, සමන් සුදර්ශන, සංජය අමරසේකර, ගයාන් තරංග සිල්වා යන මහත්වරුන් විසින් ලබාදුන් සහයෝගය අගය කර සිටිමු. චෙස් තරඟාවලියට සමගාමීව පාසලේ සියලුම වැසිකිලි පද්ධති ද නවීකරණය කරන ලදී.

වාර්ෂික ක්‍රිකට් තරඟය

විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා මෙවරද අප සංගමය ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ ඉතා සුහදශීලිව සහ සහයෝගයෙන් කටයුතු කරන ලදී. අප පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රිකට් පුහුණුකරු දීමනාව වශයෙන් ගිය වසරේ මෙන්ම මේ වසරේ ද මසකට රුපියල් විසිදහස බැගින් රුපියල් දෙලක්ෂ හතලිස් දහසක් (Rs 240,000/-) අප සංගමය වැය කරන ලදී. මෙම කාර්යයන් සාර්ථක කරගැනීම සඳහා සහය දුන් ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ටද, සංගම් දෙක අතර මිත්‍රත්වය වර්ධනය කල අප විධායක කමිටු සාමාජිකයින් වන කසුන් හේවගේ, නිමේශ නාවලගේ, චාමර පීරිස් යන මහතුන්ට මෙහිලා විශේෂ ස්තුතිය පුදකර සිටින්නෙමු.

රගර් ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතිය

සිඝ්‍රයෙන් දියුණුව කරා පියනඟන පාසල් රගර් කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන අප සංගමය ඒ සඳහා රගර් පුහුණුකරුට අවශ්‍ය මාසික දීමනාව සහ ක්‍රීඩා උපකරණ ලබදෙමින් දායකත්වය සපයන ලදී. රගර් පුහුණුකරුට මෙම වසරේ සංගමය මගින් රුපියල් එක් ලක්ෂ විසිදහසක (Rs 125,000/-) මුදලක් ගෙවා ඇත.

කථික තරඟ මාලාව

අනූ හත්වෙනි ආදී ශිෂ්‍ය දිනයට සමගාමීව 23 වෙනි වරටත් පවත්වන ලද විද්‍යාලයීය කථික තරඟ සහ 14 වන වෝල්ටර් මෙන්ඩිස් අනුස්මරණ සම්මාන ප්‍රධානය 2019 ඔක්තෝම්බර් 27 වන දින විද්‍යාලයේදී පැවැත්වුනි. මෙම තරඟාවලිය සඳහා මුල්‍යමය දායකත්වය සැපයීමේදී අප සංගමයේ සාමාජික සජිත් උත්පලවන්න මෙන්ඩිස් මහතා දැක්වූ සහාය විශේෂයෙන් සිහිපත් කර සිටිමු. එම තරඟ සංවිධානයේදී අප හට ශක්තියක් වූ සියලුම ගුරු භවතුන්ටද, විශේෂයෙන්ම තරඟ විනිශ්චය කිරීමට තම කාලය කැපකළ පාණදුර අධිකරණයේ නීතිඥ මහත්ම මහත්මීන්ට සහ නීති ශිෂ්‍යන්ට ද විශේෂ ස්තුතිය මෙහිලා පුදකර සිටිමු. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට උප භාණ්ඩාගාරික නීතිඥ සුමේධ වී. පෙරේරා මහතා ඇප කැප වී කටයුතු කරන ලදී.

දැනුම මිනුම තරඟාවලිය

විද්‍යාලයීය ආදී ශිෂ්‍ය දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ අන්තර් ශ්‍රේණි දැනුම මිනුම තරඟාවලිය මෙවරද සාර්ථකව අවසන් කරන ලදී. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සහතික පත්‍ර සහ පදක්කම් අප සංගමය විසින් ලබා දුන් අතර, මෙම තරඟාවලිය සංවිධානය කිරීමේදී සුදේශ් චතුර, නිමේශ නාවලගේ යන මහත්වරුන් දැක්වූ සහයෝගය අගය කොට සලකමු. තවද, පාසලේ දැනුම මිනුම සංගමය විසින් සංවිධානය කරනු ලැබූ CRYPTICS 19 අන්තර් පාඨශාලයීය සමස්ත ලංකා දැනුම මිනුම තරඟාවලියේදී ශූරතාවය, අනුශූරතාවය සඳහා වන අනුග්‍රාහකත්වය අප සංගමය විසින් ලබාදෙන ලදී. මෙහිදී ශූරතාවය සඳහා වන පලිහ අප විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍ය කීර්ති ශ්‍රී පෙරේරා මහතා අනුස්මරණය කරමින් ඒ මහතාගේ නමින් පරිත්‍යාග කරන ලදී.

ලේ දන්දීමේ පුන්‍යකර්මය

ආදී ශිෂ්‍ය දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ කඳවුර මෙවරත් සාර්ථකව ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලයේදී 2019 ඔක්තෝම්බර් 27 වන දින පවත්වන ලදී. සංගමයේ ගරු උප සභාපති සම්පත් පෙරේරා මහතා මෙම ව්‍යාපෘතියේ නායකත්වය ගෙන කටයුතු කල අතර, දිල්පශාන් රූපසිංහ, අමරලංකා, භාෂිත වීරතුංග, දිනේෂ් අබේපාල, නිශාන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් ඒ මහතාට සහාය වන ලදී. පානදුර කේතුමතී කාන්තා රෝහලේ රුධිර පාරවිලයන අංශයේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් දවස පුරා පැවති මෙම ලේ දන්දීමේ කඳවුරට සරත් අල්විස් මහතා විසින් පානීය ජල බෝතල් සපයමින් අනුග්‍රහය දක්වන ලදී. එමෙන්ම දිල්පශාන් රූපසිංහ මහතා විසින් අවශ්‍ය සමරු තිලිණ ලබාදෙන ලදී. විජිත් සල්ගාදු මහතා අවශ්‍ය කිරි පැකට් ලබාදුන්නේය.

ශිෂ්‍යත්ව පිරිනැමීම

97 වෙනි ආදී ශිෂ්‍ය දිනය වෙනුවෙන් පැවති ශිෂ්‍යත්ව ප්‍රධානයේදී සරසවි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 32 ක් ප්‍රධානය කල අතර, ඒ සඳහා රුපියල් 224,000/- ක් මුදලක් වැයකළ අතර, පාසැල් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 44 ක් ප්‍රධානය කල අතර, ඒ සඳහා රුපියල් 132,000/- ක මුදලක් වැය කරනු ලැබිණි. මේ සඳහා අප සංගමයේ සභාපති ඇතුළු සියලුම විධායක සභිකයින් නොමසුරු සහයෝගය ලබාදෙන ලදී. එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින්ම සමත් වූ සිසුවා සඳහා සමරු තිළිණයක් සහ මුදල් ත්‍යාගයක් වෙනුවෙන් රුපියල් 8,000/- ක් මුදලක් සංගමය විසින් වැය කරන ලදී. ව්‍යාපෘති සභාපති නුවන් රණමයුර සහ බුද්ධික දිනේෂ් යන මහත්වරුන් මේ සඳහා කල මෙහේය අගය කර සිටිමු. තවද මෙහිදී ආචාරිණී උදාරා කඳනආරච්චි මහත්මිය ලබාදුන් දායකත්වය විශේෂයෙන් සිහිපත් කරමු.

දානමය පුණ්‍යකර්මය

ආදී ශිෂ්‍ය දිනයට සමගාමීව පාණදුර නගරයේ සියලුම වැඩිහිටි නිවාස සහ ළමා නිවාස සම්බන්ධ කරගෙන අප සංගමය විසින් දානමය පුණ්‍යකර්ම පැවැත් වූ අතර, එය සංවිධානය කල විශ්ව ජයතුංග මහතාට සංගමයේ විශේෂ ස්තූතිය මෙහිලා පුදකර සිටිමු. මෙහිදී අදාල ආයතන වලට අවශ්‍ය ඖශධ සහ සනීපාරක්ෂක උපකරණද අප සංගමය මගින් පරිත්‍යාග කරන ලදී.

ඉංග්‍රීසි මාධ්‍ය පංති කාමර

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් පංති කාමර තුනක් සඳහා අවශ්‍ය ඩෙස් පුටු, ගුරු මේස, වයිට් බෝඩ් අප සංගමය විසින් මෙවර විද්‍යාලයට පරිත්‍යාග කරන ලදී. මෙම ව්‍යාපෘතිය 2004 අ. පො. ස. උසස් පෙළ කණ්ඩායම මාර්ගයෙන් ආදී ශිෂ්‍ය සංගමය හරහා සිදු වූ අතර, එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට කටයුතු කල අප සංගමයේ විධායක සභිකයින් වන දිලීක මධුරංග, විරාජ් අසංක සහ අමරලංකා යන මහත්වරුන් දැක්වූ දායකත්වය ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.

අධ්‍යයන කාර්යය මණ්ඩල දීමනා

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අප සංගමය විසින් රුපියල් තුන් ලක්ෂ විසි දහසක (Rs 320,000/-) පමණ මුදලක් අධ්‍යයන කාර්යය මණ්ඩලය වෙනුවෙන් මෙම වසරේ වැය කර ඇත.

පිළිතුරු පත්‍ර මුද්‍රණය

විද්‍යාලයීය සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන අර්ධ වාර්ෂික සහ වාර්ෂික පරීක්ෂණ සඳහා ලබා දෙන පිළිතුරු පත්‍රයන් නිසි පරිදි මුද්‍රණය කරදීමට අප සංගමය කටයුතු කල අතර, ඒ සඳහා රුපියල් එක් ලක්ෂ පන්දහසක (Rs 105,000/-) පමණ මුදලක් වැය කරන ලදී.

ආදී කතෘ දිනය

ආදී කතෘ දිනය සමරමින් වාර්ෂිකව විද්‍යාලය සංවිධානය කරන සංඝික දානමය පුන්‍යකර්මය සඳහා රුපියල් පනස් දහසක (Rs 50,000/-) මුදලක් සංගමය විසින් මෙම වසරේ පරිත්‍යාග කර ඇත.

පාණදුරා වාද සැමරුම

නිර්මල බුදුදහමේ හරය ලොවට පසක් කල ජාත්‍යාලයෙන් සිංහලයා පුබුදුවාලූ 145 වන පාණදුරා වාද සැමරුම මෙවරත් පාණදුරා වාද භූමියේදී පවත්වන ලදී. එම අනුකමිටුව අප සංගමයෙන් කරනු ලැබූ ඉල්ලීමක් මත ඒ සඳහා සහභාගී වුනු පිරිසට කිරි පැකට් 1000 ක් ලබාදීමට අප සංගමය කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට විධායක සභිකවරුන් වන හෂේල පීරිස් සහ සාගර අක්මීමන යන මහත්වරුන් දැක්වූ දායකත්වය විශේෂයෙන් අගය කර සිටිමු.

කොවිඩ්-19 වසංගතය හමුවේ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය බෙදා දීම

කොවිඩ්-19 වසංගතය හමුවේ තම පරිභෝජන අවශ්‍යතා ඉටුකරගැනීමට දුෂ්කර වූ අප ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ගේ ශුභ සාධනය වෙනුවෙන් අත්‍යවශ්‍ය අහාර මල්ලක් ලබාදීමට සංගමය කටයුතු කරන ලදී. එහිදී මූලිකත්වය ගෙන කටයුතු කල ගරු සම ලේකම් අමිල නාවලගේ මහතාටද, එයට දායකත්වය දැක් වූ චමත් ඩයස්, නිරෝධ ගුණවර්ධන, ගරු සභාපති මහේෂ් ෆොන්සේකා, ගරු සම ලේකම් දිනේෂ් කැටිපෙආරච්චි සහ ගරු භාණ්ඩාගාරික ධනුක කොට්ටච්චි, සුමේධ වජිරනාත්, ජනක චිත්‍රානන්ද යන මහත්වරුන්ටද විශේෂ ස්තුතිය පිරිනමා සිටිමු.

වෘත්තීය මාර්ගෝපදේශණ වැඩසටහන

අ. පො. ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන ඉදිරියේදී ඔවුන්ට ඇති අධ්‍යාපන සහ රැකියා අවස්ථා හඳුන්වාදෙන ව්‍යාපෘතියක් ප්‍රථම වරට මෙම වසරේදී අප දියත් කල අතර ඒ සඳහා අප විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍ය වරලත් ඉංජිනේරු තිලක් ද සිල්වා මැතිතුමා මූලිකත්වය ගෙන කටයුතු කළේය. ඒ මහතාට සහාය වූ ගරු උප සභාපති චාමර පීරිස් ඇතුළු විධායක සභිකයන්ට ස්තුතිය පළකර සිටිමු.

වෙනත්

  • පාණදුර කේතුමතී කාන්තා රෝහලට අප සංගමය විසින් ස්වයංක්‍රීය දොර වැසීමේ උපකරණ දෙකක් පරිත්‍යාග කරන ලදී.
  • කොවිඩ්-19 වසංගතයට පසුව පාසල් නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් මාර්ගෝපදේශ යටතේ පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ජලනල පද්ධති 2 ක් අප සංගමයේ වියදමින් මේ වන විට වෙනමම ස්ථාපිත කර ඇත. ඒ සඳහා ශ්‍රම දායකත්වය සැපයූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණවිරුවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටිමු.

    මෙම පද්ධතියේ සින්ක් 20 ක් රැඳවීම සඳහා අවශ්‍ය කරන රඳවන රුපියල් 40,000/- ක් පමණ මුදලක් වැයකර සකසා දුන් සංගමයේ උප සභාපති මධුසංක නාමසේන මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටිමු.
  • එමෙන්ම පළමු අදියරට පාසැල නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් ඊට සමගාමීව ක්‍රිස්ටල් කනසියුමර් පුද්ගලික සමාගමේ අධිපති අප කීර්තිමත් ආදී ශිෂ්‍ය රොෂාන් පෙරේරා මහතා විසින් පාසල් සිසුන්ගේ පරිහරණය සඳහා මුව ආවරණ (Face masks) 500 ක් පරිත්‍යාග කරන ලදී.
  • තවද පාසලේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් චෙස්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, රගර් යන ක්‍රීඩා සඳහා ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කරන ලදී.
  • ගරු විදුහල්පතිතුමා විසින් අප සංගමයෙන් පාසලේ ප්‍රධාන කාර්යාලයේ පරිපාලන කටයුතු පහසු කරගනු වස් Filing Cupboards 6 ක් ඉල්ලා සිටි අතර, එය ලබා දීමට සංගමය කටයුතු කරන ලදී.
  • අප පාසලෙන් අධ්‍යාපනය හදාරා මේ වනවිට දිවයිනේ විවිධ මාධ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු මාධ්‍යවේදීන් සම්බන්ධ කරගනිමින් මාධ්‍ය කවයක් නිර්මාණය කිරීමට අප සංගමය මේ වසරේදී කටයුතු ආරම්භ කරන ලද අතර, ඉදිරියේදී එය වඩාත් විධිමත්ව ස්ථාපිත කිරීමට අපි අපේක්ෂා කර සිටින්නෙමු.
  • ගිය වසරේදී අප සංගමය විසින් ආරම්භ කරනු ලැබූ අත්පන්දු ක්‍රීඩා පිටිය පාසල් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා නිල වශයෙන් භාරදීම මේ වසර තුලදී සිදුකරන ලැබූ අතර, එහිදී ආදී සුමංගලයීය අත්පන්දු ක්‍රීඩකයන් සහ වර්තමාන පාසල් අත්පන්දු කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරඟයක් පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේදී කමිටු සාමාජිකයන් වන ප්‍රභාත් තාරක සහ අමරලංකා යන මහත්වරු විසින් දැක්වූ සුවිශේෂ දායකත්වය කෘතගුණ පුර්වකව සිහිපත් කරන අතර, එහි දී රුපියල් 204,000/- ක් මුදලක් ඒ මහතුන් විසින් පිරිවැය දරන ලදී. මෙහිදී නිලූක ප්‍රනාන්දු සහ නිම්මි උස්මාන් යන මහතුන් ලබාදුන් සේවයට සංගමයේ ස්තුතිය පළකර සිටිමු.

පසුගිය වසර සාර්ථක කරගැනීමට අපට සහාය වූ සියලු දෙනාටම අපගේ ගෞරවණීය ස්තුතිය මෙහිලා පුදකර සිටිමු. ඔවුන්ගේ සහයෝගය නොවන්නට ගෙවී ගිය වසර සාර්ථක කරගැනීමට අප හට නොහැකි වනු ඇත.

TOP