×

ආර්ථික දුෂ්කරතා මත ආහාර වේල සපයා ගත නොහැකි පාසල් දරුවන් වෙනුවෙන් රාත්‍රී සුහද හමුවෙන් ලද අතිරික්ත මුදලින් කොටසක් ඉදිරි සය මාසයක ආහාර අවශ්‍යතා සඳහා පළමු මුදල් වාරිකය ලෙස පාසලට ප්‍රධානය කරන ලදී

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ පසුගිය රාත්‍රී සුහද හමුව 2024-06-29 වන දින ගොරකාන රමාඩියා (රන්මල්) නිවාඩු නිකේතනයේ දී විශාල ආදි ශිෂ්‍යයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

ඊට පෙර වසරවල දී බොහෝවිට රාත්‍රී සුහද හමුව පවත්වනු ලැබුවේ The Blue Water Hotel and Spa, Citrus Waskaduwa හෝ Jie Jie Beach by Jetwing වැනි තරු පන්තියේ හෝටල්වල දීය. එම රාත්‍රී සුහද හමු බොහෝවිට ආදි ශිෂ්‍ය සංගමයට ඉතා අධික වැය බරක් එක් කරනු ලැබුවේය. බොහෝ ආදි ශිෂ්‍යයින් නොදැන සිටියාට එම රාත්‍රී සුහද හමුවල ප්‍රවේශපත්‍රයේ වටිනාකමින් කොටසක් ආදි ශිෂ්‍ය සංගමය විසින් දරනු ලැබුවේය. එම වැයබර සමනය කර ගනු ලැබුවේ ආදි ශිෂ්‍යයින් විසින් ලබා දුන් අනුග්‍රාහකත්වයන් මතය.

පසුගිය වසර පුරාවට ම ආදි ශිෂ්‍ය සංගමය ඉතා විශාල මුදල් ප්‍රමාණයක් පාසල වෙනුවෙන් වැය කරනු ලැබීය. ඒ සියලු මුදල් සපයා ගනු ලැබුවේ ආදි ශිෂ්‍යයින්ගේ දායකත්වයෙනි. අප සංගමය විද්‍යාලයේ දියුණුවට කටයුතු කරමින් සිටිය දී විදුහල්පතිතුමා මාර්ගයෙන් දැන ගැනීමට ලැබුණේ පවතින ආර්ථික දුෂ්කරතා මත ආහාර වේල සපයා ගත නොහැකිව පාසල් නොපැමිණෙන දරුවන් ගණනාවක් ම සිටින බව ය. එබැවින් මෙම කාරණය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාව තුළ දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය. එහි අවසානයේ සියලුදෙනාගේ ම ඒකමතික තීරණය වූයේ ගෙවී ගිය රාත්‍රී සුහද හමුව සංගමයට වැයබරක් නොවී එමගින් යම් මුදලක් උත්පාදනය කර ආර්ථික දුෂ්කරතා මත තම පාසල් ගමන අක්‍රමවත්ව පවත්වාගෙන යන ආදරණීය දරුවන්ට පිහිටක් වීම වඩා සුදුසු බවය. ඒ අනුව රාත්‍රී සුහද හමුවෙන් උත්පාදනය වන අතිරික්ත මුදල ශිෂ්‍යයත්ව වැඩසටහනකට සහ ආහාර නොමැතිකමින් පාසල් නොපැමිණෙන දරුවන්ගේ කෑම වේල සපයා දීම සඳහා යෙදවීමට තීරණය විය.

එහි ප්‍රථම පියවර අරඹමින් පාසල විසින් හඳුනාගෙන ඇති දරුවන්ගේ ඉදිරි සය මාසයක ආහාර අවශ්‍යතා සඳහා අවශ්‍ය කරනු ලබන මුදල් වාරිකය පසුගිය 2024-07-21 වන දින පැවති විධායක සභා රැස්වීමේ දී ගරු විදුහල්පතිතුමාට අප විසින් පිරිනමනු ලැබීය. රාත්‍රී සුහද හමුවේ ප්‍රවේශපත්‍ර මිලදී ගත් සියලු ආදි ශිෂ්‍යයින්ට එහි ගෞරවය පිරිනැමෙන අතර ඔවුන් සියලුදෙනාටම නිරාමිස සතුටක් ලැබිය හැකිවෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

ඉදිරියේ දී ශිෂ්‍යත්ව අරමුදල සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සංගමය රාත්‍රී සුහද හමුවෙන් ලද අතිරික්ත මුදල තවදුරටත් යෙදවීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මෙම වැඩසටහන වඩා සංවිධානාත්මකව නිශ්චිත ව්‍යාපෘතියක් යටතේ ඉදිරියට ගෙන යාමට ද අපේක්ෂා කරනු ලැබේ.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍යය සංගමයේ විධායක සභාව (2024/2025 වර්ෂය)

TOP