×

අද අගෝස්තු 07

/ / News & Events

ඔබ මේ ඡායා රූපයේ දකින්නේ දශක ගණනාවක් ශ්‍රී සුමංගලයට අභිමානය ගෙන ආ නල්ලුරුව විදු බිමේ මුල් ගොඩනැගිල්ලයි. සුවහසක් උගතුන් දැයට තිළිණ කළ ඒ අභිමානවත් ගොඩනැගිල්ලයි. අප පාඨශාලාවේ නල්ලුරුව භූමියේ වූ මේ ප්‍රථාපවත් ගොඩනැගිල්ල සිසු අයිතියට විවෘත වූයේ 1942 ක් වූ අගෝස්තු 07 වන දින එනම් අද වැනි දිනයක දී ය.

1909 ක් වූ මාර්තු මස 03 වන දින සිසුන් 77 දෙනෙකුගෙන් රන්කොත්විහාර පරිශ්‍රයේදී ශ්‍රී සුමංගලය ආරම්භ වූ අතර ඉතා කෙටි කාලයකින් ශිෂ්‍ය ප්‍රජාව සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. අප සතු වාර්තා වලට අනුව පාසල 1911 ක් වූ මැයි මස 16 වන දින රජයේ ආධාර ලබන පාසලක් ලෙස ලියාපදිංචි වන විටත් ශිෂ්‍ය සංඛ්‍යාව 325 දක්වා වර්ධනය වී තිබේ. වර්ධනය වන ශිෂ්‍ය ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් රන්කොත්විහාර පරිශ්‍රයේ පාසල් භූමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවූ හෙයින් නව භූමියක් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් මතු වුනි. එහිදී පාසලේ ආරම්භක ශිෂ්‍යයා වූ පසු කලෙක පාසල් කලමනාකරණ කමිටුවේ කලමනාකරණ ධූරය ද හෙබ වූ වෝල්ටර් සල්ගාදු මහතා අක්කර 2 ක නල්ලුරුවේ පිහිටි තම පුද්ගලික ඉඩම පාසලට පරිත්‍යාග කළ අතර ඒ අනුව යමින් අපගේ ආදි කතෘවරයෙකු වූ කොරනේලිස් පෙරේරා මහතාගේ ආදරණීය බිරිඳ වූ සිසිලියා පෙරේරා මැතිණිය ඇය සතු නල්ලුරුව අක්කර 2 1/4 ක භූමි ප්‍රමාණය විද්‍යාලයට පරිත්‍යාග කිරීමට තරම් පරිත්‍යාගශීලී කාන්තාවක වූවාය.

ඒ අනුව ආදි ශිෂ්‍ය ඩී. එස්. ප්‍රනාන්දු මහතගේ නිසි උද්යෝගයෙන් 1940 දශකය ආරම්භයේදී රන්කොත්විහාර පරිශ්‍රයෙන් පාසල නල්ලුරුව භූමියට ගෙන යාම ආරම්භ වූ අතර කලෙක ශ්‍රී සුමංගලයේ විදුහල්පති ධූරය ද තවත් වරෙක එහි කලමකාකරණ මණ්ඩලයේ කලමනාකරණ ධුරයද දැරූ ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකු වූ පී. ද එස්. කුලරත්න මැතිතුමාගේ සුරතින් 1940 ක් වූ මාර්තු මස 24 වන දින මෙම ගොඩනැගිල්ලට මුල්ගල තබනු ලැබීය.

ඉතා කෙටි කාලයක් තුල ආදි ශිෂ්‍යයින්ගෙන් සහ පානදුරේ දානපතීන්ගෙන් ලද ආධාරයන්ගෙන් මෙම ගොඩනැගිල්ල ඉදි කර නිම කිරීමට එවක පාලක මණ්ඩලය සමත් විය. අදාල ගොඩනැගිල්ල ඉදි කර අවසන් වන විට භූමිය ද සහිතව එහි වටිනාකම එවකට රුපියල් හැත්තෑපන් දහස (රු. 75,000/-) ක් ඉක්ම වූ බව කලමනාකරණ මණ්ඩල වාර්තාවේ සඳහන් වේ.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමෙහිලා එවකට ආදි ශිෂ්‍ය සංගමය දරා තිබූ දායකත්වය කලමනාකරණ මණ්ඩල වාර්තාවේ මෙසේ සටහන්ව ඇත.

“The old boys very enthusiastically undertook a special collection campaign and helped the funds with a collection of Rs. 1,322/59. Mr. H. Dias with the help of the then Principal, Mr. A. M. Silva and the old the present boys staged a play for the purpose of helping the funds and collected a sum of Rs. 954/83.”

අප පාඨශාලාවේ ආදි ශිෂ්‍ය සංගමයද අභිනව ගොඩනැගිලි තැනවීම පිණිස ඉතා උද්යෝගයෙන් මුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට රු. 1,322.59 ක් අපට බාර දුන්හ. එවකට ප්‍රධානාචාර්‍යය ධූරය දැරූ ඒ. එම්. ද සිල්වා මහතාගේ ද ආදි ශිෂ්‍යයන්ගේ සහ දැනට විද්‍යාලයේ ඉගන ගන්නා ශිෂ්‍යයන්ගේ ද ආධාර ඇතුව ගොඩනැගිලි අරමුදල සඳහා සිංහල නාට්‍යයක් (ජානකීහරණය) දක්වා එච්. දියෙස් මහතා විසින් රු.954.83 ක් අපට බාරදෙන ලද බව ස්තූතිපූර්වකව දන්වමු.

ආදි ශිෂ්‍යයින්ගේ සහ දානපතීන්ගේ නොමසුරු දායකත්වයෙන් ඉදි වූ ගොඩනැගිල්ල 1942 ක් වූ අගෝස්තු මස 07 වන දින එනම්, අද වැනි දිනයකදී ජාතියට තිළිණ වූයේ ලාංකීය අධ්‍යාපනයේ සුවිශේෂී සලකුණක් තබමිනි. පාසල නල්ලුරුව භූමියෙන් වෑකඩ නව භූමියට ගෙන යන තුරු සිසුන් විශාල ප්‍රමාණයකට සෙවන සැලසූ මෙම ගොඩනැගිල්ල වර්ථමානයේ ද ලාංකීය ශිෂ්ඨාචාරය පෝෂණය කරන විද්වතුන්ගේ ජීවිත වල තීරනාත්මක නිවහනක් වූ බව නොරහසකි.

මෙම ශ්‍රේෂ්ඨ ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ ඩී. ඒ. ප්‍රනාන්දු මැතිතුමාය. ඒ මහතා ඇතුලූ ඒ වෙනුවෙන් කැප වූ ආදි ශිෂ්‍යයින් සහ දානපතීන් අද තම ජීවන ගමනට සමු දී ඇතත් ඔවුන්ගේ සේවය අප සිත් තුල සදා අමරණීයව රැදෙනු ඇත.

ශ්‍රී සුමංගල මාතාව සදා දිනේවා!

TOP